Monday, December 19, 2011

අවතාරයක් සමග රැයක්......




             අපේ ගෙවල් ගාව තිබුණා පුංචි පාසලක්....ඒ ඉස්කෝලෙ නම මොකක්ද කියලා මම නොලියා ඉන්නම්.ඔය කියන ඉස්කෝලෙ තියන තැන  මුලින්ම තිබිලා තිබුණෙ තැබෑරැමක්ලු...හැබැයි ඒ අපේ සීයලා කොල්ලො කාලෙදි.හරියටම කියනවනම් අම්පාරෙ ගල්ඔය ව්‍යාපෘතිය පටන් ගත්ත කාලෙදි...
   
                                    ඉතිං ඔය තැබෑරුමෙ වෙච්චි පලහිලව්වක් නිසා එක මනුසුසයෙක්ව බෙල්ල කපලා මරලා දාලා තිබුණලු.ඒ සිද්දියෙන් පස්සෙ ඔය තැබෑරුම වැහිලා ගියා වගේම එතන රෑ වෙනකොට හොල්මං මන්දිරයක් වගේ වෙලා තියනවා....හැබැයි කාලයක් යනකොට එතන පාසලක් පටන් අරන් තිබුණට ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් කිව්වෙ මොනදේ පටන් ගත්තත් එතන තිබුණු හොල්මන් නැවතිලා නෑ කියලා....ඒක නිසාම ඔය ඉස්කෝලෙ ගාවින් කළුවර වැටුණම කවුරුත් යන්න බය උනා.මොකද අර මැරුණ මනුස්සයාගෙ අවතාරෙ පස්සෙන් එනවලු.


                                   අපි ඕලෙවල් විභාගය කරන කාල වෙද්දි අපේ සෙට් එකේ හිටපු එක කොල්ලෙක් (ආදරේට අපි කිව්වෙ කපෝ කියලා)නැවතිලා හිටියෙ ඔය ඉස්කෝලෙ පැත්තකට වෙන්න තිබුණු ගුරු නිවාසෙක...මොකද උන්ගෙ අම්මා ටීචර් කෙනෙක් නිසා...අපේ පංති වල හිටපු කට්ටියම ඔය වෙන කොටත් තැන්තැන් වල සෙට් වෙලා රෑට පාඩම් කරන්න පටන් අරන් තිබුණෙ.ඉතිං පාඩුවෙ රස්තියාදු පාරක් දාගන හිටපු අපිටත් ගෙවල් වලින් එල්ල වෙන බලපෑම් වැඩි වෙන්න පටන් ගත්ත නිසාම අපිත් තීරණය කලා පාඩමට  බහින්න.


                                  කපොගෙ ඉල්ලීම පරිදි ඔය ඉස්කොලෙ තිබුණු නැටුම් කාමරයක රෑට පාඩම් කරන්න අපි සෙට්උනා.සෙට් එකක් කිව්වට හිටියෙ අපි හතර දෙනයි. කපෝ, මම...ලමා සහ ජෝකර්..අපි හතර දෙන ඉතිං එකම විදියට හිතපු අමුතුම හිත හොද චණ්ඩි හතර දෙනෙක්....මුළු ගමක් බය‍වෙලා හිටපු ඔය ඉස්කෝලෙ අපි පාඩම් කරන්න පටන් ගත්ත නිසාම ගමේ මිනිස්සුන්ට අපිව පෙනුනෙ ඉතිං "හතර දෙනාම සූරයෝ" ෆිල්ම් එකේ නලුවො වගේ...හැබැයි ඉතිං ජෝකර්ගෙ අම්මා නම් කිව්වෙ කිසිම හොල්මනකට අපිත් එක්කනම් එකට ඉන්න බැහැ කියලා....


                                 පාඩම් කරන්න පටන් ගත්ත දවසෙ ඉදලම හොල්මන් ගැන විස්තර ගමේ කස්ටිය අපෙන් ඇහුවට අපිනම් ඒ වෙනකම් දැකපු හොල්මනක් නැහැ.ඔය මනුස්සයෙක් මරලා දැම්ම කියන ශාලාව පැත්තට අපි සමහර දවස්වල රෑට විසිට් කරලා බැලුවා.සීතලට ගුලි වෙලා නිදියපු බල්ලෙක් ඇරෙන්න වෙන කිසිම හොල්මනක් අපි කවදාකවත් දැක්කෙ නැහැ.ඒත් ඉතිං අපෙන් හොල්මන් ගැන අහපු සමහර  අපේ යාළුවන්ට කියපු බොරු වල තරමට තවමත් අකුණු ගහන වෙලාවට එළියට බයයි.හැබැයි අපේ බොරු රියල් කරගත්ත අපේ කස්ටිය නම් රෑට එළියට යන්න පවා බය උනා.


                                 ඉතිං ගමේම කට්ටියට තිබුණ මේ හොල්මං ප්‍රශ්න වලට නියම උත්තරයක් දවසක් ජෝකර් අරන් ආවා.ඒ උන්ගෙ අයියා රටින් ගෙනාපු වෙස් මූණක්...ඇත්තටම ඒක දිහා තනියම බලන් හිටියොත් ඕනි කෙනෙක් බය වෙනවා.


    මම : මේක දැක්කම මට ආවා රියල් අයිඩියා එකක්...දෙමුද අපි ගමටම පොඩි ආතල් භූතයෙක්...
    ලමා : අන්න අදහස...මොනවද කියන්නෙ..එළ එළ...


                                 කවදත් මගේ ඇට්ටර අදහස් වලට එකග උන මගෙ යාළුවො තුන් දෙනාම එක පයින්ම මේ වැඩේට කැමති උනා.ඉතිං මේ වැඩේට උවමනා කරපු ඉතුරු බඩු ටික මම තීරණය කලා.මොකද  මේක මගේ අදහසක් වෙච්චි නිසා.


   මම : ලමා උඹ හෙට එනකොට ගෙදර තියන ලොකු ටෝච් එකයි අර උඹලගෙ අම්මා දුම් අල්ලන කබලයි අරන් වරෙන්.....
   ලමා : ඒ මොකටද බන්....
   ජෝකර් : උඹට කියන ඒවා ගෙනෙන් මොකටද කියලා හෙට බලමු...


                             පහුවදා කට්ටියම ඕනි කරපු බඩුත් අරගනම තමයි පාඩම් තැනට සෙට් උනේ...මමත් ගෙදර තිබ්බ ටෝච් එකයි රතු පාට ඉට් කොල කෑල්ලකුයි මතක් කරලා අරන්ගියා.වෙනදවස් වලට රෑට නිදාගන උදෙන්ම පාඩම් කරන්න පුරුදුවෙලා හිටිය අපිට එදා මුළු රෑම නින්දක් තිබුණෙ නෑ.මොකද එදා අපි 12ට තමයි අවතාරයට පණ දෙන්න තීරණය කරලා තිබ්බෙ...


                           කපෝ කියන්නෙ අපේ සෙට් එකේ හිටපු උසම එකා..ඔය කාලෙ වෙන කොටත් අඩ් 6ක් විතර හිටියා.ඊට පස්සෙ උසට හිටියෙ මම තමයි.මේ කියන දවස්වල කපෝගෙ අම්මලා නිවාඩුවට ගමේ ගිහින් හිටපු නිසා අපේ වැඩේ තවත් ලේසිඋනා. උන්ගෙ අම්මා යනකොට අපි හතර දෙනාටම එක පාරට පොරව ගන්න පුළුවන් තරමේ ලොකු සුදුපාට සීට් එකක් දීලා ගියා.මොකද ඒ දවස් වල රෑට ගොඩාක් සීතල නිසා.ඉතිං අපි ඔය සීට් එකෙන්ම තමයි අවතාරෙ ඇදුම හදාගත්තෙ....


                         රතුපාට ඉටි කොල කෑලි වලින් මම ටෝච් වල මුහුණු  ආවරණය කරා.ඊට පස්සෙ ඒ ටෝච් වලින් විහිදුනෙ රතුම එළියක් විතරයි.ජෝකර් දුම් අල්ලන වැඩේ භාරගත්තා.මොකද ඉතිං මූ හැම තිස්සෙම ලේසිම වැඩේ කරන්න ගොඩාක් කැමැත්තෙන් හිටියා.ලමා තමයි ආලෝකය සම්බන්දව කටයුතු කලේ...එතකොට අවතාරයෙ චරිතයට පණ දුන්නෙ මමයි කපොයි දෙන්නම එකතුවෙලා.මොකද උගේ තිබුණ උසේ හැටියට මමත් කරෙන් වාඩි උනාම හිතාගන්න පුළුවන්නෙ අවතාරෙ උස නේද...?


                       මම ජෝකර් ගෙනාපු වෙස් මුණත් දාගන වාඩිඋනා කපෝගෙ කරඋඩින්..අපි දෙන්නම වැහෙන විදියට සුදුපාට සීට් එක පොරවපු ලමායි ජෝකරුයි ඒක නොගැලවෙන විදියට කටු ගැහුවා.දැන් අවතාරය රෙඩී නිසා කපෝ මාවත් කරඋඩින් තියාගනම හොල්මන් ඉන්නවා කියපු ශාලාව ගාවට ගියා.ඒ ශාලාව තිබුණෙ පිට්ටනිය පිටිපස්සට වෙන්න නිසා පාරෙ ගමන් කරපු ඕනම කෙනෙක්ට ශාලාව හොදට පෙනුනා.ඔය ශාලාව ඉස්සරහ තිබුණ වතුසුද්ද පදුර පිටි පස්සට වෙන්න තමයි අපි හතර දෙනාම හැංගිලා හිටියෙ...


                       අපිට ඒ විදියට ඉන්න උනේ පුංචි වෙලාවයි මොකද පාරෙ ඈතින් බයිසිකලයක් පැදගන කවුද මනුස්සයෙක් අපි හිටපු ඉස්කෝලෙ පහු කරන් යන්න එනවා ලමා දැක්කා.


         ලමා : මචං...පාර දිගේ කවුදෝ එනවා පටන් ගමු වැඩේ....
        ජෝකර් : හරි...එහෙනම් උඹලා දෙන්නා රෙඩී නේද....?


                     අපෙන් එහෙම අහපු ජෝකර් මගේ හස්ත සංඥාවත් සමගම දුම් කබල පත්තු කරලා ලොකු දුමක් ඇතිකරා.ඒත් සමගම අපි හිටපු තැන සම්පූර්ණයෙන්ම දුමෙන් වැහිලා ගියා.ඊට පස්සෙ තමයි ලමා එයාගෙ වැඩේ පටන් ගත්තෙ..වතුසුද්ද ගහ හයියෙන් හොලවන ගමන් උගෙ අතේ තිබුණ ලොකු ටෝච් එක පත්තු කරා..ඒ වෙලාවෙ පාරෙ ගියපු මනුස්සයා ඔය එළිය දැකලා යන්න ගියපු ගමන නවත්තලා අපි ඉන්න දිහා බලන් හිටියා.


      ජෝකර් : මචං ඩැඩේ හරි...උඹලා පටන් ගනිල්ලා...


                  රහසින් වගේ මට එහෙම කියපු ජෝකර් මහ හයියෙන් භයානක විදියට හූ කියන්න පටන් ගත්තා.ජෝකර්ගෙ සද්දෙට පිට්ටනිය පැත්තක සැපට නිදන් හිටපු බලු රෑනක් උඩු බුරන්න පටන් ගත්ත නිසා අපේ වැඩේට අපිත් නොහිතපු සාර්ථකත්වයක් එකතු උනා.කපෝ එයාගෙ අතේ තිබුණ ටෝච් එක පත්තු කරලා ඉනේ ගහ ගත්තා. ඉතිං ඔය වෙලාවෙ රතුපාට එළිය මගෙ මුණට හොදට වැදිලා තිබුණෙ.මාවත් කරෙ උඩ තියාගන එහෙට මෙහෙට ඇවිදප් කපෝ වටින් විට ටෝච් එක නිවන්න පත්තු කරන්න පටන් ගත්තා.


                      "බුදු අම්මෝ...හොල්මාන්......."
  මහ හයියෙන් කෑමොර දීපු මනුස්සයා බයිසිකලයත් පෙරලගන බිම වැටුණා.ඔය වෙලාවෙ ඉතිං අපි හතර දෙනාට මාර ෆන්.....ඒ නිසා ජෝකර්ගෙ හූ හඩ තවත් වැඩිඋනා.අර මනුස්සගෙ සද්දෙට අහල පහල ගෙවල් වල මිනිස්සු ඇහැරිලා දුවන් ආපු නිසා අපි හතර දෙනා හොරෙන්ම නැටුම් කාමරයට ගිහින් නිදා ගත්තා.


               අති සාර්ථක මෙහෙයුමෙන් පස්සෙ පහුවදා උදෙන්ම අපි මුකුත් නොදන්න ගානට අපි ගෙවල් වලට යන්න පිටත් උනා. හැබැයි ඒ වෙනකොටත් අවතාරයෙ කතාව මුළු ගමේම පැතරිලයි තිබුණෙ...මම ගෙදර ගිහින් විනාඩි කීපයකින් කපෝ හති දාගන අපේ ගෙදරට දුටගන ආවා.


        කපෝ : දන්නවද සීන් එක...ඊයෙ හොල්මන්....
        මම : ඇයි උඹටත් ගෙදර ඉන්න බයයි වගේද....?
        කපෝ : බය නෙවෙයි යකෝ...අර පාරෙ වැටිලා තියෙන්නෙ ලමාගෙ තාත්තා....


            කපෝ එහෙම කියන කොට මටත් හොල්මන් පෙන්න පටන් ගත්තා.ඉතිං අපි දෙන්නම ගියා ලමාගෙ ගෙවල් පැත්තට...ඔය වෙනකොටත් ඇදුරෙක් ඇවිත් ලමාගෙ තාත්තට නූලක් දානවා.ඒ වෙලාවෙ තමයි අපි හතර දෙනා කරපු වැඩේ බරපතල කම තේරුණෙ....ඉස්කෝලෙ ඉන්නවා කියන ඔය භූතයා නිසා අපිට ඊට පස්සෙ කවදාවත් අපිට නම් එතන පාඩම් කරන්න උනේ නෑ.....


           එදා ඉදලා අද වෙනකම්ම අපි හතර දෙනා විතරයි මේ රහස දන්නේ...අදටත් ඔය ඉස්කෝලෙ ගාවින් ගමේ මිනිස්සු යන්න බයයි.මොකද අඩ් 12ක් විතර උස රතු පාට මූණක් තියන අවතාරයක් රෑට පිට්ටනියෙ ඇවිදිනවලු.අද ඉතිං මම මේ ලිපිය ලියන්නෙ මගේ යාළුවො හතර දෙනාගෙ පූර්ණ අවසරය ඇතිව තමයි.
මම : මධුරංග
ලමා : ප්‍රදීප්
කපෝ : ඉරෝෂන්
ජෝකර් : ගිහාන්

5 comments: